යුද්ධය නිම වුවත්, නිමක් නැති ශෝකයක සිටින
මනි අම්මා
යුද්ධය නිමා වී වසර ගණනාවක් ගෙවී ගියත් යුද්ධය හේතුවෙන් නැතිවී ගීය ඔවුන්ගේ ළබැඳියන්ගේ මතක තවමත් ඔවුන් තුළ පවතී.
දෑතේ කරගැට ආවත්, ගතින් ඩහදිය ගලා ගියත් තම දරුවන් ජීවත් කිරීම සදහා කළ ගොවිතැන මනි අම්මාත් ඇගේ ස්වාමියා වන රාමස්වාමිත් අත් නොහළහ. ඔවුන්ට තිබුණේ එකම බලාපොරොත්තුවකි. ඒ තම එකම පුතාත් දියණියත් තමන්ව කවදා හෝ රැක බලා ගනු ඇති බවයි. නමුත් කුරිරු යුද්ධය ඔවුන්ගේ ඒ බලාපොරොත්තු සියල්ල විනාශ කර දැමීය.
තිස් වසරක යුද්ධය, උතුරේ සහ දකුණේ සෑම ජන කොටසකටම විවිධ අයුරින් බලපෑ දෙයකි. කුරිරු යුද්ධය නිසා බොහෝ විට පිඩාවට පත්වූයේ යුද්ධය පිළිකුල් කළ පිරිසක් වීම ශෝක ජනකය. අම්පාර තිරික්කෝවිල් ප්‍රදේශයේ ජිවත්වන මනි අම්මාගේ කතාව ඊට එක් නිදසුනක් පමණි.
යුධ සමයේ සිදු වූ තම එකම පුතා ගේ අතුරුදහන් වීම, මනිඅම්මාටත් ඇගේ ස්වාමි පුරුෂයාටත් දරාගත නොහැකි වේදනාවක් විය. හදවතේ ඇවිළෙන දරු සෙනෙහසේ ගින්න දරාගනිමින්ම, තවත් වගකීම් රාශියක බර දැරීමට ඇයට සිදු වී තිබේ.
හැම දාම පාන්දර අවිදි වන මනිඅම්මා මුලින්ම අතට ගන්නේ අතුරුදහන්වූ තම පුතාගේ ඡායාරූපය ඇති ඔහුගේ හැදුනුම් පතයි. 2006 ජුනි මාසයේ 04 වනදා සිට ඇයට හිමි වූයේ එපමණය. යුද්ධය නිසා මනි අම්මාටත් ඇගේ පවුලේ අනෙකුත් සාමාජිකයන්ටත් විටින් විට තමන් ජීවත් වූ ප්‍රදේශ අතහැර යෑමට සිදු විය. ඔවුන්ගේ කල දවස ගෙවුණේ නිවෙස්වලට වඩා අනාථ කඳවුරු තුළය.
”යුද්දෙ කාලේ අම්පාරේ වගේම මොනරාගලත් අපි ජීවත් වුණා. ඒ වෙනකොට මොනරාගල මිනිස්සුත් යුද්ධයේ බලපෑමට ලක්වෙලා හිටියේ, අපිට ජීවත්වෙන්න ක්‍රමයක් තිබුණේ නෑ. අපි කරපු ගොවිතැන් අපිට අහිමි වුණා. යුද්ධය ඉවර වෙනකම්ම අපි ජීවත් වුණේ එක එක තැන.” මනිඅම්මා අතීතය සිහි කරමින් පැවසුවාය.
තම පුතුගේ අතුරුදහන් වීමෙන් ටික කලකට පසු, සිය දියණියගේ ස්වාමියාද එම ඉරණමටම ගොදුරු වීමේ කටුක අත්දැකීමට මුහුණ දීමට ඇයට සිදු විය. දියණියට දරුවන් දෙදෙනෙකි. සැමියා අතුරුදන් වීමෙන් පසුව, ජීවත් වීමට මගක් නැති වූ තැන දියණිය මැදපෙරදිග රැකියාවකට ගියේ, ඇයගේ දරුවන් දෙදෙනා රැක බලා ගැනීමේ වගකීම වයෝවෘද්ධ මා පියන් වෙත පවරමිනි.
වයෝවෘද්ධ මනිඅම්මාත් ඇගේ ස්වාමියා වන රාම ස්වාමිත් පොල් කටු එකතු කරගෙන විත් පොල් කටු හැඳි හදා වෙර දරන්නේ ඔවුන්ට ජීවත් වීමට නොව ඔවුනට පැවරී ඇති සෙනහසේ වගකීම ඉෂ්ට කරන්නටය.
”මගේ දුවගේ ස්වාමියාත් අතුරුදහන් වුණා. පස්සේ ඇය පිටරට ගියා. නමුත් අද වෙනකන් ඇයගෙන් තොරතුරක් නෑ. දැන් ඇගේ දරුදෙන්නත් බලා ගන්නේ අපි. ඔක්කොම කරන්න වෙන්නේ මහත්තයා පොල් කටු හදලා කරන රස්සාවෙන්. යුද්ධය තිබුණේ නැත්නම් අපිට මේ වගේ දුක් විදින්න වෙන්නේ නෑ. අපේ දරුවෝ අපිව බලා ගන්නවා වෙනුවට අද අපි දරුවන්ගේ දරුවොත් බලා ගන්නවා. අපි අදටත් දුක් විදින්නේ යුද්ධය නිසා. ”
දරු සෙනෙහසට ජාති භේදයක් නැත. හැම අම්මා කෙනෙකුගේම හදවතේ තම දරුවන් පිළිබඳ සෙනෙහස දිවි ඇති තෙක්ම පවතී.
ඇයගේ පුතා පෙනෙන මානයක නැතත් ඇයට ඔහු පිළිබද මතකය ජීවමාන එකකි. ඇය තවමත් බලා සිටින්නේ පුතා ගෙදර එන තුරුය.
”මගේ පුතා අතුරුදහන් වෙලා අවුරුදු කීපයක් වෙනවා. යුද්ධය කළේ එල්ටිටිඊයයි හමුදාවයි. නමුත් අපට අපේ දරුවෝ ආරක්ෂා කර ගන්න බැරි වුණා. මගේ පුතා අතුරුදහන් වූ දා පටන් මට මගේ ජීවිතයේ භාගයක් නැති වුණා. මම හිටපු වත්තේ මගේ පුතා වගේ තරුණයින් 15 ක් අතුරු දහන් වුණා. ඒ දරුවන්ගේ මාපියන් එකතුවෙලා අතුරුදහන් වූ දරුවන් හෙව්වා. පොලිසියට මානව හිමිකම් කොමිසමට ගියා, බන්ධනාගාරවල හෙව්වා. නමුත් ඒ දරුවො කිසි කෙනෙක් හිටියේ නෑ.”
ඔවුන්ට උවමනා, එකම එක දෙයකි. ඒ නැති වූ සිය දරුවන්ය. අඩු තරමින් ඔවුන්ට අත් වූ ඉරණම පිළිබදව දැනගැනීමට උවමනාය. ඒ හැර ඔවුන්ගේ සිත් සැනසිය හැකි වෙනත් මගක් තිබේද?