කරිවිලේ කන්දේ
මහා විනාශයට පෙර!
කුමන මොහොතක හෝ තම ජීවිත පස් කඳු අතරට යටවීමේ අවදානම දෙස බලමින් ජීවත් වීමට කටුවන කරිවිලේ කන්දේ ජනතාවට සිදුව තිබේ. ඒ විපත තවමත් වැළැක්විය හැකිය.
‘‘වෙන තැනකට ගිහිල්ලා බඩගින්නේ මැරුණත් එකයි මෙහෙ ඉදලා පස්වලට යටවෙලා මැරුණත් එකයි‘‘
කේ.කේ. සිරිසේන සිය හදවතේ කැකෑරෙන වේදනාව වචනවලට කැටි කළේය. නාය යෑමේ අවදානම සහිත කලාපයක් ලෙස රජය විසින් නම් කර ඇති මැදකන්ද හා කරිවිලේ කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ඔහු, තමන් ඇතුළු පවුල් 125කට අයත් ජනයාගේ පොදු ඉරණම ගැන මෙසේ ද කීවේය.
” වහින කාලෙට හැමෝටම පන්සලට එන්න කියනවා. පායන කොට ආයෙත් හිටපු තැනටම යනවා අද වෙනකල්ම සිද්ධවුණේ ඒකයි. රජයෙන් කියනවා ඉවත්වෙන්න කියලා නමුත් මිනිසුන්ට යන්න තැනක් නෑ. ගියත් ජීවත් වෙන්න ක්‍රමයක් නෑ. ඒ නිසා මැරුණාවේ කියල ඉන්නවා.’’
මැදකන්ද හා කරිවිලේ කන්ද යනු, හම්බන්තොට රුහුණු ගිරුවාපත්තුවේ අවසාන ගම්මානයි. මේ ගම්මාන මාතර මොරවක් කෝරලයට හා රත්නපුර දිස්ත්‍රික් මායිමේ අලුපොත්දෙනිය ප්‍රදේශයට යාබදව කදු මුදුනක පිහිටා ඇත. කොන් වූ පිහිටීම නිසාම, මෙම පෙදෙස කලක පටන් බලධාරීන්ගේ අවධානයෙන් ගිලිහිණි. පසුගිය සමයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති කොතෙක් ක්‍රියාත්මක වුවද මෙම ප්‍රදේශයට සංවර්ධනයේ සෙවණැල්ලකුදු වැටී නැත. ගුවන්තොටුපොළ, ජාත්‍යන්තර වරාය, මං තීරු දෙකේ මහා මාර්ග ඉදි වූ හම්බන්තොට, ඔවුහු තවමත් කිසිදු මාර්ග පහසුවක් නැතිව ගල් ගොඩැලිවලින් පැන පයින් ගමන් කරති.
අවදානම් කලාපයක්මේ ප්‍රදේශය රජය විසින් නාය යෑමේ අවදානම් කලාපයක් ලෙසට පත් කරන ලද්දේ මිට වසර 05 කට පමණ පෙරය. එහෙත් එහි පදිංචි පවුල් 125කට අයත් පිරිසකට අවදානම පෙනි පෙනී එහිම ජීවත් වීමට සිදුව තිබෙන්නේ, මේ වන තුරු අනතුරු ඇඟවීමෙන් එහා ගිය විසඳුමක් ඔවුන්ට ලබා දීමට බලධාරීන් පියවර නොගැනීම හේතුවෙනි.
පසුගිය මාස කීපය තුළ හා ඊට පෙර කාලය තුළ ඇති වූ අධික වර්ෂාව සමග කරිවිලේ කන්දේ හා මැද කන්ද ප්‍රදේශයේ නාය යෑම් හේතුවෙන් නිවාස දහයකට අධික ප්‍රමාණයකට හානි සිදු වී තිබේ . 2011 පෙබරවාරි 04 වන දින මෙම ප්‍රදේශයේ සිදු වූ නාය යෑමකින් ජීවිත දෙකක් අහිමි විය. ඊට පෙර අවස්ථා කිහිපයකදීම ඒ අයුරින් ජීවිත අහිමි විය.
තේ, කුරුඳු සහ ගම්මිරිස්, මැද කන්ද හා ඒ අවට ජීවත්වන ජනතාවගේ ප්‍රධාන අදායම් මාර්ගයි. ඒ හැරුණු විට ඔවුන්ට වෙනත් ආදායම් මාර්ගයක් නොමැති තරම්ය. ඉන් ලැබෙන සුළු අදායමින් දරු පවුල් රැක ගැනීමට ඔවුන් දරන දුක් මහන්සිය දන්නේ ඔවුන් නිතර ගැටෙන මහ පොළොව පමණි. තමන්ට අයිති ඉඩකඩම් හා වගාවන් තව දුරටත් භුක්ති විඳීමට ලබා දෙන්නේ නම් විකල්ප ස්ථානයක පදිංචි වීමට ඔවුන් කැමතිය.
‘හැම දේම නැති වුණා‘“පසුගිය මැයි මස 27 වන දා නාය ගිහින් මගේ ගෙදර කැඩිලා ගියා. අපි බේරුණේ වාසනාවකට. දරුවන්ගේ රෙදි පෙරදි හැම දෙයක්ම නැති වුණා. ඒ ළමයින්ට ඉස්කෝලෙ යන්න විදියක් නැතිව හිටියා. අපි මෙහෙන් යන්න කැමතියි, නමුත් ගොඩාක් දුරකට යන්න අපි කැමති නෑ .අපිට යන්න පාරක් නෑ යන්න තියෙන්නේ ඉතා දුෂ්කර පාරක කදු, ගල් අතරින්. ඡන්දේ කාලෙට විතරයි මෙහාට කට්ටිය එන්නේ. මෙච්චර කාලෙකට කවුරුවත් අපි ගැන හොයලා බලලා නෑ.” කරිවිලේ කන්ද උඩ ගොමඩිය මැදකන්ද ප්‍රදේශයේ ජීවත්වන කේ.කේ.ඉන්ද්‍රානි පැවසුවාය.
“මේ මැදකන්දේ හැමෝම අවදානම් තත්ත්වයක තමයි ඉන්නේ. නමුත් අපිට හදිස්සියක් වුණොත් දුවන්නවත් තැනක් නෑ. මගේ නංගිගේ ගේත් නාය ගියා. දරුවෝ හතරදෙනෙක් එක්ක යටවෙන්න ගිහින් බොහොම අමාරුවෙන් තමයි ඒ අය බේරිලා එළියට ඇවිත් තියෙන්නේ . අපේ ගමට කවුරුවත් එන්නේ නෑ. මෙහෙ ඇවිදගෙන යන්න බැරි නිසා. ඒ අය එන්නේ වාහනවලින් යන්න පුළුවන් ටිකේ විතරයි“ කේ.කේ විමලාවතී පැවසුවාය.
මේ වන විට දැඩි අවදානම් කලාපයේ තිබෙන උඩගොමඩිය කණිෂ්ඨ විද්‍යාලයේ දරුවෝ 400කට අධික පිරිසක් ඉගෙනුම ලබති. එම පාසලට වැඩි වශයෙන් පැමිණෙන්නේ අවදානම් කලාපයක් වන මැද කන්ද ප්‍රදේශයේ දරුවන් ය .එම ප්‍රදේශයේ දරුවනට පාසලට යාමට සිදුව ඇත්තේද මෙම අවදානම් දුෂ්කර මාර්ග ඔස්සේය.
මහා විනාශයකට පෙරඒ අයුරින් තම දරුවන් සමග ඉතා දුෂ්කර ජීවිත ගත කරන මේ අහිංසක මිනිසුන් පස් කඳු අතරට යට වීමට මත්තෙන් ඒ මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විධිමත් පියවර ගැනීම වගකිවයුතු කාගේත් යුතුකමක් වුවත් ඔවුන් සම්බන්ධයෙන් යම් තරමක හෝ සොයා බැලීමක් කරන්නේ වැසි වසින කාලයට පමණකි. එයද මැද කන්දේ හා උඩ ගෝමඩියේ පදිංචිකරුවන් අසල තිබෙන විහාරස්ථානයට යැවීමට සීමා වෙයි.
පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ නාය ගිය කලාපයන් වන මිරියබැද්ද ,අරනායක, මොරවක් කන්ද මෙන්ම මීතොටමුල්ල කුණු කන්දටද පොදු එක් සත්‍යයක් තිබේ. එනම් අවදානම දැක දැකත් ඒ අවට පදිංචි ජනතාවට සාධාරණ විකල්පයක් ලබා නොදීමය.
කටුවන, මැද කන්දේ මිනිසුන්ගේ ජීවිත මතට කළුගල්- පස් කඳු පතිත වීමට මත්තෙන් ඒ පිළිවෙත වෙනස් කිරීමේ හැකියාව තවමත් තිබේ.