Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

තොරතුරු දැනගැනීමේ අවියෙන්
ජනතාව බල ගැන්වීම

ශ්‍රී ලාංකික පුරවැසියන්ට පොදු අධිකාරීන් සතු තොරතුරුවලට ප්‍රවේශ වීම සඳහා ඇති අයිතිය ව්‍යවස්ථාපිත ලෙස තහවුරු කරමින් 2017 පෙබරවාරි 04 වනදා සිට තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලංකාවේ බල ගැන්වෙන්නේ හුදු මේ රටේ වෙසෙන ප්‍රමුඛ සමාජ ක්‍රියාධරයින් වසර ගණනාවක් තිස්සේ ගෙන ගිය අරගලයක ප්‍රතිපලයක් ලෙසය. මේ එම වෑයමේ ප්‍රතිපල ඇගැයුණු අවස්ථාවකි.

13.05.2018  |  
කොළඹ දිස්ත්‍රික්කය

රටක විනිවිදභාවය, රජයේ වගකිව යුතු බව, දූෂණයට එරෙහිව ජනතාව ආරක්ෂා කිරීම මෙන්ම ප්‍රතිපත්ති සැකසීමට මහජන සහභාගිත්වය ලබා ගැනීම ආදී කරුණු ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම මූලික කර ගනිමින් තොරතුරු දැනගැනීමේ පනත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙයි. එහිදී කලාපිය වශයෙන් නොව ලොවේද ශ්‍රිලංකාවේ තොරතුරු පනතට සුවිශේෂී ස්ථානයක් අත්ව තිබේ.
ලෝකයේ, ශ්‍රී ලංකාවේ තොරතුරු පනත සදහා සුවිශේෂී ස්ථානයක් ලැබී තිබුණ ද එම පනත ක්‍රියාත්මක කිරීමේදී ජනතාවට පොදු අධිකාරීන් වෙතින් තොරතුරු ලබා ගැනීමේදී මේ වන තෙක් නොයෙක් ගැටලු පැන නැගෙමින් තිබේ. ඒ ශ්‍රී ලංකාවේ බොහොමයක් රාජ්‍ය ආයතනවල සිටින නිලධාරීන් තොරතුරු දීමේ සංස්කෘතියකට තවමත් හැඩ ගැසී නොමැති නිසාවෙනි.
මෙම තත්වය හමුවේ ශ්‍රී ලාංකීය සමාජයේ තොරතුරු පනත බල ගන්වමින් රටේ මහජනතාව උදෙසා තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතිය බල ගැන්වීම සදහා ප්‍රමුඛ ආයතයක් ලෙස ක්‍රියා කරමින් සිටින ශ්‍රීලංකා පුවත්පත් ආයතන මගින් කලාපිය සහ තවත් රටවල් කීපයක් තොරතුරු දැනගැන්මේ අයිතිය සම්බන්ධයෙන් ක්‍රියා කරන විද්වතුන් හා රාජ තාන්ත්‍රිකයින් ගේ සහභාගිත්වයෙන් කොළඹදී පසුගිය දා පැවති වසරකට පසුව “පුරවැසි ජනතාව බල ගැන්වීම” යන තේමාව යටතේ වූ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද ජාත්‍යන්තර සම්මන්ත්‍රණය මේ රටේ තොරතුරු පනත සම්බන්ධයෙන් පවතින අඩු පාඩු සකසා පනත බල ගැන්වීමේ ක්‍රියාවලියට මහගු පිටුබලයක් සපයන්නක් විය.මෙහිදී ලෝකයේ රටවල තොරතුරු පනත් කෙසේ ක්‍රියාත්මකව පවතින්නේද, ඒවායේ ඇති අඩු පාඩු, දුර්වලතා මෙන්ම ඉහළ ගුණාත්මක තත්වයන්කවරාකාරද යන්න හදුනා ගනිමින් ශ්‍රිලංකාවේ තොරතුරු පනත බලගැන්වීමට එම අත්දැකීම් උපයෝගී කර ගත හැක්කේ කෙසේද යන්න ගැන කතිකාවතක් ගොඩ නැගීම සම්මන්ත්‍රණයේ අරමුණ විය.

පාකිස්තානයේ මාධ්‍යවේදීන් තොරතුරු පනතට උනන්දුවක් නෑ

/

පාකිස්තානයේ ෂෙහාරි හි පර්යේෂණ උපදේශිකාවක් වන සයිමා ඇඩෙල් කියන්නේ පාකිස්තානයේ මාධ්‍යවේදීන් තොරතුරු පනතට උනන්දුවක් නොදක්වන බවය.
පාකිස්තානයේ අප තොරතුරු පනත හැදුවේ 2017 දී. ශ්‍රීලංකාව තොරතුරු පනත කලාපයේ තුන්වන තැනෙහි සිටිනවා. එනමුදු මේ වන තෙක් පනතක් විදියට තොරතුරු පනත පාකිස්තානයේ පිළිගෙන නැ.

ජයේ කාර්ය සාධනය, වගවීම සම්බන්ධයෙන් මෙන්ම තොරතුරු පනත භාවිත කරමින් තොරතුරු ඉල්ලන්නන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්විට ද මේ කරුණු කිසිවක් ගැන පකිස්ථානයේ අවධානය යොමුව නැහැ. ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස තොරතරු පනත ක්‍රියාත්මක කළත් මේ වන විට තොරතරු පනත භාවිතා කරන්නන්ට සැලසෙන ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දීය සමාජයේ ගැටළු පවතිනවා.

මියන්මාරය, ස්ලෝවැකියාව වැනි රටවල මාධ්‍යවේදීන් කටයුතු කරන්නේ අන්තරායකාරී පසුබිමකයි. ඇතැම් මාධ්‍යවේදීන් ඝාතනය වී තිබෙනවා. පාකිස්තානයේ මාධ්‍ය ආයතනවල ප්‍රධානින්, කතෘවරුන් පැහැර ගෙන ගොස් ආපසු ඒවා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නිතිය ක්‍රියාත්මක කර නැ. මාධ්‍යවේදීන් ඝාතනය කිරීම් සම්බන්ධයෙන් මේ වන විට පාකිස්තානයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පස් දෙනකු විතරයි.

පාකිස්තානයේ මාධ්‍යවේදීන් තොරතුරු පනත භාවිතා කිරීම සදහා දැඩි උනන්දුවක් නොදැක්වීම අනෙක් ගැටලුවයි. ජනමාධ්‍යවේදියෙක් යම් තර්ජනයකට හෝ අතුරුදහන් කිරීමකට ලක්වී සිටියහොත් පාකිස්තානයේ තොරතුරු පනතේ 14.3 වගන්තිය යටතේ දින තුනක් ඇතුළත අදාළ පිරිස් ඒ ගැන දැනුම්වත් කළොත් ඒ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වීමට සමාජයට හැකියාවක් ලැබෙනවා. තොරතුරු පනත භාවිතා කිරීම සදහා දැඩි උනන්දුවක් නොදැක්වීම නිසා පාකිස්තානයේ තොරතුරු පනතින් නිසි ප්‍රයෝජනයක් ගැනෙන බවක් මා දකින්නේ නෑ.

ජනතාව ඉල්ලන තොරතුරුවලින් 70% ක්ම ජනතාවට වීවෘතව තැබිය යුතු තොරතුරුයි

/

ඉන්දියාවේ ජනතා තොරතරු දැනගැනීමේ ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කාරිණිය වන අංජලී භද්රාජ් මහත්මිය පවසන්නේ ජනතාව ඉල්ලන තොරතුරුවලින් 70% ක්ම ගැනෙන්නේ ජනතාවට වීවෘතව තැබිය යුතු තොරතුරු ගණයට බවය.

ඉන්දියාවේ කාන්තාවන් තොරතුරු ඉල්ලීම සම්බන්ධයෙන් දක්වන කැපී පෙනෙන ප්‍රවණතා සම්බන්ධයෙන් අප සොයා බැලුවා. ඔවුන් තොරතුරු දැන ගැනීමේ පනත උපයෝගී කර ගනිමින් ප්‍රාදේශීය ප්‍රාන්තවල ඇති වන විවිධ දුෂණ වංචා පිළිබද තොරතුරු හෙළි කරන්නට කටයුතු කරන බවට සාධක අප සොයා ගත්තා. දිල්ලියේ ප්‍රාන්තයක ප්‍රාදේශීය දේශපාලනඥයෙකු එම ප්‍රදේශයේ පානිය ජල ව්‍යාපෘතියක් සදහා වෙන් කර තිබු මහජන මුදල්වලින් 70% ක් වෑය කර තිබුණේ උද්‍යානයක වතුර මල් හදන්නටයි. මෙම මුදලින් පානීය ජලය ලබා දී නැති බවට තොරතුරු පනත භාවිතා කරමින් ලබා ගත් තොරතුරුවලින් හෙළි කර ගැනීමට කාන්තාවක් පිරිසක් සමත් වී තිබුණා. එය තොරතුරු පනත භාවිතා කරමින් ඔවුන් ලද ජයග්‍රහණයක්. ප්‍රාදේශීය දේශපාලනඥයා අදාළ තොරතුරු හෙළි කිරීම ගැන මෙම කාන්තාවනට තර්ජනය කර තිබුණා. තමන්ට අහිමි වූ අයිතීන් ලබා ගන්නට ඔවුන් ප්‍රතිපලදායක ලෙස තොරතුරු පනත භාවිත කළා.

ඉන්දීය සමාජයේ විවිධාකාර මාෆියා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එවන් වාතාවරණයක ජනතාව තොතරතුරු පනත භාවිතා කරමින් ඒ සම්බන්ධයෙන් සොයා බලන නිසා මේ මාෆියාවල සමාජ ක්‍රියාකාරිත්වය අවම වෙමින් පවතිනවා.

ඉන්දියාවේ රාජස්තාන්හි දේශපාලනඥයෙකු සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලු අයකු ඝාතනය ලක්වී තිබෙනවා. එවන් තර්ජන වලක්වා ගැනීම පිණිස තොරතුරු ඉල්ලීමේදී සංවිධානාත්මකව, ප්‍රජා මට්ටමින් කණ්ඩායම් වශයෙන් තොරතුරු එක්රැස් කරන ලෙස අප උපදෙස් දී තිබෙනවා. ඒ ඔවුන්ට ඇතිවන තර්ජන අවම කර ඔවුන්ගේ ආරක්ෂාව තහවුරුවීම ඉන් සිදුවන නිසා. තොරතුරු ඉල්ලුම්කරුවන්ට සිදු කෙරෙන තර්ජන, පහරදීම් වැනි අවස්ථාවල දී ලබා ගන්නා තොරතුරු ප්‍රසිද්ධ කිරීමෙන් මේ තර්ජන වලක්වා ගැනීමට හැකි බවද අප ඔවුනට පෙන්වා දී තිබෙනවා.

ජනතාව ඉල්ලන තොරතුරුවලින් 70% ක්ම රජය මගින් ජනතාවට වීවෘතව තැබිය යුතු තොරතුරු බවට ඉන්දියාවේ සිදු කළ පර්යේෂණවලින් අප අනාවරණ කර ගෙන තිබෙනවා. ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාවත් මේ කරුණු පිළිබද අවබෝධයෙන් යුතුව ජනතාවට තොරතුරු ලබා දීමට කටයුතු කළ යුතු වෙනවා.

රාජ්‍ය ආයතන 121 සියලු තොරතුරු අන්තර්ජාලයට එක් කරනවා

/

නොර්වේ මාධ්‍යවේදියෙකු වන තෝමස් ෆ්රාගාර්ඩ් කියන්නේ තම රටේ රාජ්‍ය ආයතන 121 ක් එම ආයතනවල තොරතුරු අන්තර්ජාලයේ පළ කරන බවයි. තොරතුරු ඉල්ලා අයදුම් පතක් ඉදිරිපත් නොකර ඒ හරහා තොරතුරු ලබා ගන්නට ජනතාවට ඉන් ඉඩකඩ ලැබෙන බවයි ඔහු පවසන්නේ.

නොර්වේ රටේ තොරතුරු පනතට අනුව තොරතුරු ඉල්ලා සිටීමේ අයදුම්පතක් ඉදිරිපත් කර දින 05ක් ඇතුළත එයට පිළිතුරු ලැබියයුතු වෙනවා. ජනතාවට තොරතුරු ලබා ගැනීමේ පහසු ප්‍රවේශයක් ලබා දීමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතිවෙනවා. ජනතාව වෙනුවෙන් මාධ්‍යවේදීන් ද තොරතුරු පනත භාවිත කළ යුතුයි.

දුරකතනයෙන් වූවද තොරතුරු දැනගැනීමේ හැකියාව තිබිය යුතුයි

/

ඉන්දියාවේ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන වෙන්කටෙෂ් නායක් කියන්නේ දුරකථන මාර්ගයෙන් වුවද තොරතුරු ලබා ගැනීමට හැකි වනවානම් එය රටක ප්‍රජාතන්ත්‍රවාදය දක්වාලන මිනුම් දණ්ඩක් වන බවය. එය රටක්ප්‍රජාතන්ත්‍රවාදීව මෙහෙයවීමේ මෙවලක් ලෙස ක්‍රියාත්මක වන බවත් ඔහු පෙන්වා දෙයි.

බෞද්ධ දර්ශනය ඇතුළතද ප්‍රජාතන්ත්‍රවාදය ගැබ් වී තිබෙනවා. තොරතුරු දන ගැනීමේ පනතේ ක්‍රියාකාරිත්වය ඒ රටේ අනන්‍යතාව ලොව වෙත ගෙන යාමටද මනා පිටුබලයක් සපයනවා.

ඉන්දියාවේ තොරතුරු දැනගැනීමේ පනත භාවිත කරන්නේ එහි ජනගහනයෙන් සියයට දශම පහකටත් වඩා අඩු ප්‍රමාණයක්. එයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ සිටින්නේ අඩු ජනගහනයක්. මේ පිරිස තොරතුරු පනත ගැන දැනුම්වත් කරන්න පහසුයි. ඒ නිසා ඔවුන් ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම කඩිනමින් කළ යුත්තක්.

භාෂා ප්‍රශ්නයත් තොරතුරු දැනගැනීමට බාධාවක්

/

ශ්‍රීලංකා පුවත්පත් ආයතනයේ සභාපති කුමාර් නඩේසන් පෙන්වා දෙන්නේ භාෂා ප්‍රශ්නයත් තොරතුරු දැනගැනීමට බාධාවක් ව මතු වන බවයි.

තොරතුරු දැනගැනීමේ අයිතිය හා තොරතුරු දන ගැනීමේ පනත ශ්‍රීලංකාවේ මේ වනවිට ක්‍රියාත්මක වුවත් තොරතුරු ලබා දීම පිණිස ඒ ඒ ආයතන සඳහා තොරතුරු නිලධාරින් පත්කර නොමැති වීම ගැටළුවක්. එවන් ආයතන රාශියක් තවමත් තිබෙනවා. බොහෝ ආයතනවල තොරතුරු දැනගනිමේදී භාෂා ගැටළුව හේතුවෙන් ගැටලුවලට මුහණ දෙන්නට ජනතාවවට සිදුව තිබෙනවා.

මේ වන විට රටේ විවිධ ආයතන සඳහා තොරතුරු නිලධාරීන් 8000 ක් පමණ පත් කරලා තිබුණද, සමහර පළාත්බද ආයතනවල මේ සදහා බාධා පවතිනවා. එම අඩුපාඩු සපුරා ගන්නා ක්‍රමවේද හදුනා ගැනීමත්, අනෙකුත් රටවල් තුල සාමාජිකයින් සමග එකතුව එම අඩුපාඩු සකසා ගැනීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළක් සකසා ගැනීමට අඩිතාලම දැමීමත් මෙම සම්මන්ත්‍රණයේ පරමාර්ථයයි.

තොරතුරු පනත පිළිබද රාජ්‍ය නිලධාරීන් සතුව පවතින දැනුම වැඩි කළ යුතුයි

/

ජනමාධ්‍ය හා මුදල් අමාත්‍යංශයේ අතිරේක ලේකම් තිලකා ජයවර්ධන මහත්මිය පෙන්වා දෙන්නේ තොරතුරු පනත පිළිබද රාජ්‍ය නිලධාරීන් සතුව පවතින දැනුම වැඩි වර්ධනය කළ යුතු බවය.
ශ්‍රී ලංකාවේ යහපාලනය ඇති කරන්නට මෙන්ම රටේ විනිවිදභාවය ඇතිකරන්නටත් තොරතුරු පනතින් හොද පිටුවහලක් ලබා දෙනවා. ඒ සදහා රාජ්‍ය නිලධාරීන් තොරතුරු පනත පිළිබද රාජ්‍ය නිලධාරීන් සතුව පවතින දැනුම වැඩි කළ යුතුයි. විවිධ හේතු නිසා තොරතුරු හෙළිකිරීමේ සංස්කෘතියක් ශ්‍රී ලංකාවේ තවම නිසි ලෙස වර්ධනය වෙලා නැ. තොරතුරු ලබා දීමේ සංස්කෘතියක් රාජ්‍ය ව්‍යූහය ඇතුළත මෙන්ම රාජ්‍ය නිලධාරීන් තුළ ද ඇති කළ යුතුයි. එවැනි සංස්කෘතියක් ඇතිකරීම ගැන දැනටමත් අප සාකච්ඡා කරමින් සිටිනවා.

අපේ රටේ තොරතුරු පනත දැනට ක්‍රියාත්මකව පවතින්නේ තියෙන්නේ සමාජ ක්‍රියාධරයින්ගේ උනන්දුව නිසා. සාමාන්‍ය ජනතාවද මේ තොරතුරු දැනගැනීමේ පනත භාවිත කළ යුතුයි. ඔවුන් පුද්ගලික තොරතුරු සෙවීමට වඩා පොදු කාරණා ගැන සොයා බලන්නට පෙළඹෙනවා නම් තොරතුරු පනත වඩාත් පලදායි වේවි.
තොරතුරු ලබා දීමේ සංස්කෘතියයක් තම රටේ ගොඩ නගන්න ඉන්දියාවට අවුරුදු 07 ක් ගත වුණා. ශ්‍රී ලංකාව අඩුම තරමේ වසර පහකින් වත් ඒ තත්ත්වය ඇති කළ යුතුයි. තොරතුරු ජනතාවගේ නොවේ ය යන මානසිකත්වයේ සිටින ඇතැම් රාජ්‍ය නිලධාරින් සමඟ අපට එක රැයින් මෙවන් තොරතුරු දීමේ සංස්කෘතියක් ඇතිකරන්න බෑ. මේ වට විට ඒ සම්බන්ධයෙන් අප රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කරමින් යනවා. ඉදිරියේදී රාජ්‍ය නිලධාරීන්ගේ විභාග සදහා ද තොරතුරු දැනගැනීමේ පනතේ ඇති කරුණු සම්බන්ධයෙන් වන ප්‍රශ්න ඇතුලත් කිරීමට ද අප කටයුතු කරනවා. ඉදිරියේදී තොරතුරු දැනගැනීමේ පර්යේෂණ මධ්‍යස්ථානයක් ඇතිකර ඉන් තොරතුරු පනත භාවිතයේදී රටේ ජනතාවට ඇතිවන ගැටලු මග හැරීම සදහාද කටයුතු කරනවා.