Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

සූරියවැවෙන් නව සටන් පාඨයක්
‘අලි නොවෙයි පාලකයෝ!’

‘අලි-මිනිස් ගැටුම’ දිවයිනේ ප්‍රදේශ ගණනාවකට බලපාන බරපතළ ගැටලුවකි. එයින් දැඩි ලෙස පීඩා විඳින සූරියවැව ජනතාව අතරින් මතු වූ ඉහත සටන් පාඨයෙන් කියැවෙන්නේ ගැටුමේ නව දිශානතියද?

26.12.2017  |  
හම්බන්තොට දිස්ත්‍රික්කය

ගොම්මන් අඳුර බුරුතන්කන්ද වෙළා ගනිමින් ඇත. වන අලින්ගේ කුන්චනාද හඬ සතර දෙසින් ඇසෙද්දී සිරියාවතීත්, පියදාසත් බුරුතන්කන්දේ සිය නිවසෙන් පිට වන්නේ යාබද ආරක්ෂික ගම්මානයක ‍රැකවරණය අපේක්ෂාවෙනි. සුරියවැව ඉදි වූ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ යෝධයන් සේ නැගීසිටිද්දී,  ඔවුන්ට දිවි ගෙවීමට සිදුව ඇත්තේ සිය ගෙපැලෙහි රැය ගෙවීමේ නිදහස පවා අහිමි වූවන් පරිද්දෙනි.

ගම ජාත්‍යන්තරයට ගොස් සිටියදී බුරුතන්කන්දේ මිනිසුන්ට ගම හැර යෑමට සිදු වීම පරිසර අසමතුලනය හා අවිධිමත් සංවර්ධනය පිළිබඳ අලුත් පරිච්චේදයක  ඇරඹුම කියාපායි.

” හැමදාම අපේ ගමට අලි එනවා. අපිට දැන් ජීවත් වෙන්න විදියක් නෑ. අපේ දරුවෝ, අපේ ගොවිතැන් ආරක්ෂා කර ගන්න බැරි තත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. මේවට  උද්ඝෝෂණ කළාම අපිට බොරු පොරොන්දු දීලා අපිව රවටනවා. පස්සෙ නඩු දානවා. අපේ ප්‍රශ්න විසඳන්න කව්රුවත් මැදිහත් වෙන්නෙ නෑ.”  කේ. සිරියාවතී මහත්මිය පැවසුවාය.

තම ප්‍රදේශයට වසර ගණනාවක සිට බලපා ඇති මෙම වන අලි ගැටලුව විසදීමට විවිධ අවස්ථාවල බලධාරීන් හා දෙශපාලනඥයින් පොරොන්දු ලබා දුන්නත් හුදු එය රැවටීමකට පමණක් සිමා වී ඇති බව ප්‍රදේශවාසීන්ගෙන් පොදුවේ අසන්නට ලැබුණු චෝදනාවය. සූරියවැව, අන්දරවැව, එලල්ල, හම්බන්තොට යන ප්‍රදේශවල  සිදු කරන මහාපරිමාණ වන සංහාරය නිසාත්, සිදු කළ  මහාපරිමාණ සංවර්ධනයේ  ප්‍රතිපලයක් ලෙස වන අලින්ගේ නිජබිම් අහිමි වීම නිසාත්  එම ප්‍රදේශවල සිටින වන අලි නිරන්තරයෙන්ම ගම් වදිති. ‘බුරුතන්කන්ද’ එයින් දැඩි ලෙස බැට කන ගම්මානයකි.

කඩ වුණු පොරොන්දු

සූරියවැව බුරුතන්කන්ද ප්‍රදේශයේදී පසුගිය සැප්තැම්බර් 22 දින  වන අලියෙකු පහර දීමෙන් කාන්තාවක් මිය ගියාය. එහිදී ප්‍රදේශයේ ජනතාව, අලි ගම් වැදීම වැළැක්වීම සඳහා ශක්තිමත් විදුලි වැටක් ලබාදෙන ලෙස ඉල්ලමින් මාර්ගය හරස් කොට විරෝධතා ව්‍යාපාරයක් දියත් කළහ.

මෙහිදී පොලිසියේ හා ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයේ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා  සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ප්‍රදේශයේ ජනතාව සමග සාකච්ඡා කළේය. එහිදී, කැඩී ඇති අලි වැට නැවත සකස් කර දීමට මෙන්ම අලිවැට නොමැති ප්‍රදේශයේ අලිවැට සකස් කර දෙන තෙක් වනජීවී නිලධාරීන් මුර සංචාරයේ යොදවන බවටද වනජීවී අධ්‍යක්ෂ ජනරාල් වරයා පොරොන්දු විය.

ගම ජාත්‍යන්තරයට ගොස් සිටියදී බුරුතන්කන්දේ මිනිසුන්ට ගම හැර යෑමට සිදු වීම

කෙසේ නමුත් එම පොරොන්දු හුදු වචන මාත්‍රයකට පමණක් සීමා වී තිබේ. මේ වන විටත් කිසිදු විසදුමක් බලධාරීන් විසින් ලබා නොදීම නිසා පසුගිය නොවැම්බර් 09 වනදා රාත්‍රියේදී ප්‍රදේශයේ නිවාස තුනක් වන අලින්ගේ ප්‍රහාරයට ලක්ව විනාශ විය. එමෙන්ම ප්‍රදේශයේ ඇති වගාබිම් විශාල ප්‍රමාණයක්ද විනාශ විය. සෑම දිනකදීම වන අලි රංචු වශයෙන් කඩාවැදී ගම් බිම් වැනසීම සුලබ සිදුවීමකි.

” මම ක්ලිනික් එකට යන්න ඕන නිසා වේලාසනින් මහත්තයයි දරු දෙන්නයි එක්ක රෑ 7.30 විතර  මගේ අම්මලාගේ ගෙදර ගියා. ඒ වෙලාවේ තමයි අලි රංචුවක් ඇවිල්ලා අපේ ගෙදර කඩලා ගිහින් තියෙන්නේ. එදා හිටියනම් අපි ඔක්කොටම මැරෙන්න තමයි වෙන්නේ. අපිට කාගේවත් පිහිටක් නෑ. මහත්තයා කුලී  වැඩ කරලා තමයි අපි ජීවත් කරවන්නේ.” ගැබිනි කාන්තාවකද වන සූරියවැව බුරුතන්කන්දේ ජී.එල්.ඒ. තිලිනි මදුෂිකා  හැඩු කදුළින් පැවසුවාය.

විසඳුම් වෙනුවට නඩු

”මේ අලි ප්‍රශ්නය නිසා අපිට දැන්  හැන්දෑවට ගෙවල්වල ඉන්න බෑ. උදේ පාන්දර දරුවන්ට ඉස්කෝලෙ යන්න පාරට බහින්න බෑ. ඒ නිසා අපි දැන් හවසට ගෙවල් දොරවල් අත්හැරලා හිතවතුන්ගේ ගෙවල්වල ගිහින් ඉන්නෙ.” එස්. නිලුකා මහත්මිය පැවසුවාය.

“අපේ ගමට හැම දාම අලි එනවා, හැමදාම ගෙවල් කඩනවා, වගා විනාශ කරනවා, කවුරුත් අපි ගැන හොයල බලන්නේ නෑ. ගමේ හිටපු අම්මා කෙනෙක් අලියා ගහලා මැරුණා. ඒකට උද්ගෝෂණ කළ අය පොලිසියෙන් අරන් ගහින් නඩු දාලා දැන් උසාවි යනවා.” තමන් බොහොම අමාරුවෙන් හම්බකරගන්න දේවල් අලි එක රැයින් විනාශ කරන බවත් බලධාරීන් මේ සදහා නිසි විසදුම් ලබා නොදෙන බවත් සමීර මහතා කියා සිටියේය.

මාර්ගය හරස් කොට විරෝධතා ව්‍යාපාරයක්

පසුගිය වසර 15ක පමණ  කාලයක සිට  සිට මේ දක්වා හම්බන්තොට   දිස්ත්‍රික්කයේ   වන අලින් ඇතුළු වන සතුන් වෙසෙන ප්‍රදේශ හෙළි කරමින් විවිධ මහාපරිමාණ  සංවර්ධන කටයුතු සිදු කිරීම නිසා වන සතුන්ගේ වාස භුමි  ඔවුන්ට අහිමි විය. අලි මිනිස් ගැටුම  වර්ධනය වූයේ ඒ හේතුවෙනි. ඉතිරිව තිබෙන කැලෑ ප්‍රදේශද මේ ආකාරයෙන් හෙළි කිරීම නිසා ගැටුම තවත් උග්‍ර වෙමින් පවතී.

පසුගිය වසර දෙක තුළ දී පමණක් වගා බිම්වලට පැමිණි අලි – ඇතුන් 18 ක් පමණ වෙඩි තැබීමෙන්, විදුලි සැර යෙදීමෙන් හෝ හක්කපටස් නිසා ඝාතනය වී තිබේ. අලි ඇතුන්ගේ ප්‍රහාරයට ලක්ව පුද්ගලයින් 9 දෙනෙකු පමණ මියගොස්, තවත් පුද්ගලයන් දෙදෙනකු පූර්ණ ආබාධිත තත්ත්වයට පත් ව සිටින බව හම්බන්තොට වනජීවී කාර්යාලය පෙන්වා දෙයි.

අද වන විට සූරියවැව බුරුතන්කන්ද සේම හම්බන්තොට, අම්බලන්තොට, මදුනාගල, සූරියවැව, ලුණුගම්වෙහෙර, මත්තල ඇතුළු ප්‍රදේශ රාශියක් මේ උවදුරෙන් ඇළලී ගොසිනි. වන අලි උවදුරට විසදුම් ඉල්ලා සූරියවැව පැවති උද්ඝෝෂණයකදී ප්‍රදර්ශනය කෙරුණු විරෝධතා පුවරුවක මෙසේ සඳහන් විය ” අම්මා මැරුවේ අලියා නොවෙයි රටේ පාලකයෝ” එයින් ඇඟවෙන්නේ ගැටුමේ ඊළඟ අදියරද?